කාර්යබහුල ලයිෆ්ස්ටයිල් එකකට ෆිට්නස් ටිප්ස්

ලංකාවේ ගොඩක් බ්‍රෝ ලා ඉස්කෝලේ කාලෙයි ඒලෙවල් ඉවර උන ගමනුයි ජිම් සීන් එකේ හිටියට ටිකක් කල් ගිය ගමන් ජිම් යන්න වෙලාවක් නැතිවෙලා ලොකු බඩකුත් ඇවිත් වැඩේ අත ඇරලම දානවා. මේකට ලොකුම හේතුව තමයි බ්‍රෝ ජොබ් එකක් පටන් අරන් ඔයා බිසී වෙන එක. ජොබ් එකත් සෙට් වෙන්නේ අල්ලපු වැටෙන් නෙමෙයි නේ බ්‍රෝ. අඩුම ගානේ පැයක් එකහමාරක් වත් පාරේ කට්ට කාගෙන වැඩ කරන තැනට යන්න ඕනේ. යන්න පැය එකහමාරයි එන්න පැය එකහමාරයි තිබ්බත් එතනම පැය 3ක් ඉවරයි. කෝච්චියේ හරි බස් එකේ හරි නම් යන්නේ නගින්න, බහින්න, ඇතුළේ ඉඩක් හොයාගන්න දෙන ගේම අපිත් හොඳටම දන්නවා බ්‍රෝ. මේ තෙහෙට්ටුව මහන්සිය එක්ක ආයෙත් ජිම් යන එක එච්චර ලේසි වැඩක් නෙමෙයි. ඉඳලා හිටලා තමයි ජිම් ෆැසිලිටීස් තියෙන කම්පැනි එකක ජොබ් එකක් සෙට් වෙන්නේ.
ඉතින් බ්‍රෝ දවසින් වටිනම වෙලාවෙන් පැය තුන හතරක් මෙහෙම නාස්ති වෙද්දී පිළිවෙළකට ජිම් යන්න, හරි ඩයටින් ප්ලෑන් එකකට කෑම කන්න බැරි වෙනවා. වැඩට අරන් යන කෑම මේසේ උඩ සීතල වෙද්දී වෙන වෙන වැඩ කරන්න වෙනවා. හොඳ පෝශ්‍යදායි කෑම ටිකක් හදාගෙන කන්න වෙලාව නැති වෙනවා. කාලෙක ඉඳලා මේ ප්‍රශ්නෙට මාත් උත්තර හෙව්වා. ඒකෙ රිසාල්ට් එකක් විදියට හොයාගත්ත වර්කවුට් ටිප්ස් සහ නියුට්‍රිශන් ටිප්ස් ටිකක් තමයි අද අපි අරන් ආවේ.

හැමවෙලාවෙම අදාළ වෙලාවට කලින් කෑම හදාගන්න

පස්සේ දවසේ තියාගන්න පුලුවන් විදියේ කෑම ජාතියක් කලින් දවසේ රෑම හදල තියාගන්න. උදේ පාන්දර නැගිටලා හට්ටි මුට්ටි එක්ක ඔට්ටු වෙන්න යන වෙලාව ඉතුරු වෙනවා. මේක කොහොමහරි කරන්නම ඕනේ දෙයක් බ්‍රෝ. කලින් දවසේ රෑ උයලා තිබ්බා, උදේට නැගිට්ටා ටිකක් රත් කරගත්තා, කෑවා. කඩෙන් ශෝර්ට් ඊට්ස් මොනවහරි කනවට වඩා මෙහෙම කන එක ගොඩක් හොඳයි. ඔයාගේ වෙලාව විතරක් නෙමෙයි, ශක්තිය වගේම හිතට සැනසිල්ලත් හම්බෙනවා.

වෙලාවට ගෙදරින් ගිහින් වැඩ පටන් ගන්න

රාජකාරිය දේව කාරිය තමයි බ්‍රෝ. ඒත් ඔයා පරක්කු වෙන්න පරක්කු වෙන්න ඔයාට ගෙදර එන්න පුලුවන් වෙලාවත් පරක්කු වෙනවා. උවමනාවක් නැති දවසට බොරුවට ඔෆිස් එකට වෙලා වෙලාව කන්න එපා. දුමක් දාන එකෙන්, කෝපි එකක් ගහන ගමන් චැට් එකක් දාන එකෙන් ඔයා ෆිට් පොරක් වෙන්නේ නැහැ. ඇත්තටම ඔෆිස් එකේ වැඩ තියෙන දවසකට ඔෆිස් එකේ පරක්කු වෙනකන් ඉඳලා වැඩ කරන එක වෙනයි, බොරුවට වෙලාව කන එක වෙනයි. ඉතින් බ්‍රෝ අදාළ වැඩ ටික කරලා හරි වෙලාවට එන්න පුලුවන්නම් තමයි හොඳ. හැබැයි ඉතින් වෙලාවට එන්න නම් වෙලාවට යන්නත් වෙනවා.

ඩයට් ප්ලෑන් එකෙන් පිට යන්න එපා!

කෙනෙක්ට හැදෙන්න පුලුවන් කට නිසයි, ඒ වගේම නහින්නෙත් කට නිසයි. ඔෆිස් එකක් කියන්නේ අමතර කෑම පිරිච්ව තැනක්. බෝනස් පාටි, ෆස්ට් සැලරි පාටි, ප්‍රොමෝශන් පාටි, බර්ත්ඩේ පාටි වගේ ගොඩක් ට්‍රීට් ජාති තියෙනවා. මේවලට දෙන්නේ ඉතින් කඩල කව්පි නෙමෙයි නේ බ්‍රෝ. පීසා, ඩෝනට්, සබ්මැරීන්, බීම ජාති වගේ කැලරි ගොඩක් තියෙන කෑම. ඉතින් බ්‍රෝ ඔයාගේ සාමාන්‍ය කෑම වලට අමතරව මේ වගේ කෑම වැටුණ ගමන් ඔයාගේ ඩයටින් ප්ලෑන් එකම අවුල් යනවා. අමතර කැලරි පුලුවන් තරම් අඩු කරගෙන ඔයාගේ ප්ලෑන් එකට ඇළිලා ඉන්න පුලුවන් නම් ගොඩක් ලේසි.

වෙලාවට නිදාගන්න

නින්දෙ වැදගත්කම අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ බ්‍රෝ. වෙලාවට නිදාගෙන අඩුම ගානේ පැය 6ක් වත් නිදාගන්න එකෙන් ඔයාගේ දවසම හොඳට ප්‍රාණවත්ව වැඩ කරන්න සෑහෙන්න බලපානවා. රෑට පරක්කු වෙලා නිදාගන්න එකෙන් ඔයාට නිදාගන්න තියෙන වෙලාව අඩු වෙනවා. පහුවෙනිදා වැඩට ගිහින් ඈලිමෑලි වෙලා නිදි කිර කිර ඉන්න ඕනේ නැත්නම් වෙලාවට නිදාගන්න බ්‍රෝ.

හොඳ වර්කවුට් එකක් තියාගන්න

ජිම් එකේ ට්‍රෙඩ්මිල් එකේ ඇවිදින එක, දන්න දන්න අය එක්ක චැට් දාන එක කණ්ණාඩියෙන් පැය ගණන් බලන් ඉන්න එක වගේ දේවල් කවදාවත් ආයෝජනයක් වෙන්නේ නැහැ. නාස්තියක් විතරයි. ඔයාගේ වර්කවුට් එක ඔලුවේ තියාගන්න. ටාර්ගට් එකක් තියාගෙන ජිම් එක ඇතුළට යන්න. වෙලාව ඉතුරු කරනවා වගේ නෙමෙයි බ්‍රෝ එක්සර්සයිස් ටිකත් හරියට කරන්න.
මේ තමයි ඔයාට කාලයේ වටිනාකම තදටම දැනෙන කාලය. ඉතින් බ්‍රෝ ඔයා කොච්චර බිසී උනත් , පැය ගානක් ට්‍රැෆික් එකේ පාරේ කාලේ නාස්ති කරන්න උනත් මේ වගේ පොඩි පොඩි ෆිට්නස් සහ නියුට්‍රශන් ටිප්ස් අනුගමනය කරොත් දිගටම ෆිට් බ්‍රෝ කෙනෙක් වගේ ඉන්න පුලුවන්.