බල්ලෙක් නාවන හරි විදිය දන්නවද?

කොල්ලෙක්වත් හරියට නාන්නේ නැති කාලෙක මොන බල්ලෝ නෑවිලි ද බ්‍රෝ වගේ එකක්ද ඔයාට හිතුනේ? හැබැයි බ්‍රෝ බල්ලෙක් උනත් වැඩිය නාන්න ආස නැති උනාට ඔයාගේ බල්ලව හරියට නාවන එකෙන් ඔයාටයි බල්ලටයි දෙන්නටම ගොඩක් වාසි තියෙනවා. බල්ලා ප්‍රියමනාප සෞඛ්‍යසම්පන්න බල්ලෙක් වෙනවා වගේම ඔයාට උගෙන් වෙන්න පුලුවන් හානියත් අඩු වෙනවා.

කොච්චර කාලෙකට සැරයක්ද නාවන්න ඕනේ?

අපි වගේ දවස ගානේ නාන්න බල්ලොන්ට ඕනේ නැති උනාට ඉඳලා හිටලා හරි මේගොල්ලොන්ව නාවන්න ඕනේ. කොච්චර කාලෙකට සැරයක්ද කියන එක තීරණය වෙන්නේ කාරණා කිහිපයක් මත. බල්ලා ඉන්න පරිසරය, බල්ලගේ ලොම් මොන වගේද කියන එක මේවලින් දෙකක් විතරයි. ඔයාට හරියටම මේ ගැන දැනුමක් නැත්නම් ඔයාගේ පශුවෛද්‍යවරයාට පුලුවන් මේ ගැන හරිම උපදෙස් දෙන්න. සාමාන්‍යයෙන් ඕනම බල්ලෙක්ට අදාළ වෙන උපදෙස් අපි අද දෙන්නම්.

• මාසෙකට එක සැරයක්වත් බල්ලව නාවන්න.
• බැසට් හවුන්ඩ් වගේ තෙල් සහිත ලොම් තියෙන බල්ලො ජාතියක් නම් සතියකට සැරයක්වත් නාවන්න.
• බීග්ල් වගේ සිනිඳු කොට ලොම් තියෙන බල්ලෙක්ව නම් නිතරම නෑව්වේ නැති උනාට අවුලක් නැහැ. බැසෙන්ජී වගේ තමන්ගේ සෞඛ්‍ය තමන්ම බලාගන්න බ්‍රීඩ් එකක් නම් කලාතුරකින් නෑව්වට කිසිම අවුලක් නැහැ.
• වතුරට වැඩිය සෙට් වෙන්නේ නැති ලොම් තියෙන ගෝල්ඩන් ‍රිට්‍රීවර්, ග්‍රේට් පිරෙනීස් වගේ බල්ලොන්වත් ඕනවට වඩා නාවන්න එපා. මොකද ඒගොලොන්ගේ හමේ තියෙන ස්වභාවික තෙල් නැතිවෙලා යන්න පුලුවන්.
• ගොඩක් ඝනකම ලොම් තියෙන බල්ලොන්වත් අඩුවෙන් නාවලා නිතරම ලොම් පීරන එක තමයි හොඳම විදිය. මැරිච්ච ලොම් වැටිලා තෙල් ජාති ඇඟ පුරාම පැතිරෙන්න මේක උදව් වෙනවා.

හැබැයි බ්‍රෝ ඔයාගේ බල්ලට නිතරම පීනන්න තැන් තියෙන , මඩේ නටන්න පුලුවන් පැත්තක නම් ඉන්නේ නාවන වාර ගාණ වියළි පැත්තක ඉන්න බල්ලෙක්ට වඩා වැඩි වෙනවා. ඇත්තටම ඕනේ වාර ගාණට වඩා නාවන්න ගියාම වෙන්නේ ඔයාගේ බල්ලගේ ස්වභාවික තෙල් ජාති හමෙන් අයින් වෙලා හිස්හොරි සහ තව හමේ අවුල් ඇති වෙන්න පුලුවන්. නාවද්දී පාවිච්චි කරන සමහර ශැම්පූ ජාතිවලිනුත් හම වේලෙන්න පුලුවන්. එතකොට කරන්න ඕනේ ගැළපෙන වෙන ශැම්පූ එකකට මාරු වෙන එකයි. අද නම් නාවන්න ඕනේ කියලා දැනගන්න ලේසිම විදිය දන්නවද? බල්ලව පොඩ්ඩක් ඉඹලා බලන්න. එයාගේ සුවඳින් ඔයාට තේරෙයි නාවන්න ඕනෙද නැද්ද කියලා.

කොහෙද නාවන්නේ?

ඔයාට ඉන්නේ පොඩි ජාතියක බල්ලෙක් නම් වැඩේ ලේසී වෙනවා. සින්ක් එකක හරි පොඩි බේසමක හරි දාලා නාවන්න පුලුවන්. හැබැයි ඔයාට ඉන්නේ සයිස් එකෙන් ලොකු බල්ලෙක් නම් තමයි වැඩේ ටිකක් අමාරු කරන්නේ. බාත් ටබ් එකක පිහිට පතන්න වෙන්නේ මේ වගේ වෙලාවට තමයි. බල්ලන්ටම හදපු බාත් ටබ් එකක් ගන්න තරම් ඔයාගෙ ආර්ථිකේ හොඳයි නම් බ්‍රෝ එහෙම ඔප්ශන් එකකට යන්න. කාළගුණ තත්ත්වය හොඳයි නම් මිදුලේ හෝස් එකකින් උනත් නාවන්න පුලුවන්. හෝස් එකකින් වතුර ගහද්දී බල්ලා උනත් බය වෙන්න පුලුවන් හැබැයි.

කොහොමද බල්ලව නාවන්නේ?

බල්ල කැමත්තෙන් හරි අකමැත්තෙන් හරි නාන්න ලෑස්ති වෙලා නම් ඉන්නේ වැඩේ කරන්න ඕනේ මෙන්න මෙහෙමයි.


• නාවන්න කලින් බ්‍රශ් කරන්න.

මොකද ගැටගැහුණු ලොම් තිබ්බම නාවන්න කරදරයි. ඒ වගේමයි කන් වලට වතුර යන එක නවත්තන්න කන් දෙකට කපු පුලුන් කෑලි දෙකක් ගහන්න.
• මද රස්නේ වතුර පාවිච්චි කරන්න.
බල්ලොන්ගේ හම අපේ වගේ නෙමෙයි බ්‍රෝ. වතුර රස්නේ උනොත් පිච්චෙන්න බලනවා. ඒක නිසා පොඩි බබෙක් නාවන්න ගන්න තරම් රස්නේ වතුර පාවිච්චි කරන්න. බල්ලා ලොකු ජාතියක එක්කෙනෙක් නම් තවත් රස්නේ අඩු කරන්න .
• බල්ලත් එක්ක කතා කරන්න.
සමහර බල්ලෝ දන්නවා ඔයා ලෑස්ති වෙන්නේ වධ දීලා එයාව මරලා දාන්න නෙමෙයි කියලා. ඒත් කෝකටත් නාවද්දී ආදරෙන් කතා කරන්න.
• ඩෝග් ශැම්පූ පාවිච්චි කරන්න.
මිනිස්සුන්ගේ ශැම්පූ වලට වඩා අඩුවෙන් තමයි ඩෝග් ශැම්පූ වලට හම වේලෙන්නේ. ඇස් වලට ශැම්පූ යන්නේ නැති වෙන්න ඇඟ පුරාම ගාලා මසාජ් කරන්න.
• හොඳට පිහිදාන්න.
සබන් වල කෙමිකල් එහෙම ඇඟේ ඉතුරු වෙන්න පුලුවන්. ඒක නිසා ආයෙ ආයෙම හොඳට පිහිදාන්න.
• Air-Dry
මිනිස්සුන් පාවිච්චි කරන හෙයා ඩ්‍රයර් එක බල්ලෙක්ට රස්නේ වැඩි වෙන්න පුලුවන්. ඒක නිසා සාමාන්‍ය හුළඟේ වේලෙන්න දෙන්න. නැත්නම් බල්ලොන්ගේ හෙයා ඩ්‍රයර් එකක් ගන්න.
• රිවෝඩ් එකක් දෙන්න.
බල්ලෙක් හොඳ දෙයක් කරාම ඒ දේ අගය කරන්න ඕනේ බ්‍රෝ. ප්‍රශංසා කරලා, ටිකක් ආදරය කරලා, ටිකක් සෙල්ලම් කරා නම් වැඩේ හරි. මේගොල්ලෝ තව ආසම දෙයක් තමයි ටවල් එකෙන් කඹ අදින එක.

ඉතින් බ්‍රෝ මේ පොඩි පොඩි දේවල් ටික ඔයා දන්නවා නම් කරදරයක් නැතුව ඔයාගේ බල්ලව හරි විදියට නාවන්න පුලුවන්. බල්ලට කරදරයක් හානියක් නැතුව හ‍රි විදියට බල්ලෙක් නාවන්න ඔයා දැන් දන්නවා බ්‍රෝ.